”පිංගියානි, ඔබට එකරුණ වැටහේවා” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
එවිට පිංගියානි බ‍්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සුදුසු ගාථාවෙන් ස්තුති ප‍්‍රශංසා කළා.
”පදුමං යථා කෝකනදං සුගන්ධං - පාතෝ සියා ථුල්ලමවීතගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං - තපන්තමාදිච්චමිවන්තලික්ඛේ’ති”
උදෑසන පිපී සුවඳ හමන රත් පියුමක් බඳු වූ ද, අහසෙහි හිරුමඬල මෙන් බබලන්නා වූ අංගීරස වූ බුදුරජාණන් වහන්සේ දෙස බලන්න.
එතකොට ඒ ලිච්ඡවීන් පිරිස උතුරු සළු පන්සියයකින් ඒ පිංගියානි බ‍්‍රාහ්මණයා පිදුවා. එවිට පිංගියානි බ‍්‍රාහ්මණයා ඒ උතුරු සළු පන්සියයම භාග්‍යවතුන් වහන්සේට පූජා කළා.
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙහෙම වදාළා.
”ලිච්ඡවීවරුනි, ලෝකයෙහි මැණික් පහක් පහළ වීම දුර්ලභයි. ඒ පහ කුමක්ද?
(01) ලෝකයෙහි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම දුර්ලභයි.
(02) ලෝකයෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය දේශනා කරන පුද්ගලයා දුර්ලභයි.
(03) ලෝකයෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය දැනගන්නා පුද්ගලයා දුර්ලභයි.
(04) ලෝකයෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය දැනගෙන ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා දුර්ලභයි.
(05) ලෝකයෙහි කළගුණ දන්නා, කළගුණ සිහිකරන පුද්ගලයා දුර්ලභයි.
ලිච්ඡවීවරුනි, ලෝකයෙහි මේ මැණික් පහ පහළ වීම දුර්ලභයි.”
සාදු! සාදු! සාදු!
